“මගේ අමාත්‍යංශයේ මට නියෝජ්‍ය ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක් නොමැතිව අවුරුද්දක් කාලයක් දැරුවා. ඒවගේම අමාත්‍යංශයේ උගත්, බුද්ධිමත් කෙනෙකු පත්කිරිම මගේ රාජ්‍ය ඇමති හැටියට වැදගත්. හේතුව පනත් සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවලදි අපේ අමාත්‍යංශයේ කටයුතු කරනවා. එවගේම මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කෙටුම්පත් වැඩිම සංඛ්‍යාවක් මේ අවුරුද්දට ඉදිරිපත් කරපු අමාත්‍යංශය මගේ අමාත්‍යංශය. ඒවගේම අභියෝග රාශියකට මුහුණ පාපු අමාත්‍යංශය. ඒනිසා ශ්‍රියාණි විජේවික්‍රම මැතිණියට මේ අමාත්‍යංශයෙන් රාජ්‍ය ඇමතිකම ලැබීම මං හිතන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ සහ ඇමතිකමක් කිරීමේ දි විශාල අත්දැකීමක් ලබනවා කියන එක මං මේ අවස්ථාවෙදි ප්‍රකාශ කරනවා. ඒවගේම පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න ඇහුවෙත් මේ අමාත්‍යංශෙන්. ඒනිසා මට විශාල ශක්තියක්. එතුමිය මං යම් කාල පරිච්ඡේදයක් හඳුනනවා. අපි දෙන්නා එකම වෘත්තියේ ඉන්නේ. ඒනිසා මං හිතන්නේ ඉතා සුහදව මේ අමාත්‍යංශේ මං විශාල පීඩනයක් තිබ්බා විශාල වැඩකොටසක් තිබීම ගැන. ඒනිසා එතුමියට මම බලාපොරොත්තුවෙනවා විශාල වැඩකොටසක් පවරන්න. ඒවගේම මා විශ්වාස කරනවා අපි දෙදෙනාට මේ අමාත්‍යංශයේ ඉදිරි අවුරුදු ගාණ තුළ විශාල වැඩකොටසක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒවගේම එතුමියගේ බල ප්‍රදේශයේ දිගාමඩුල්ල ප්‍රදේශයට මේ අමාත්‍යංශයේ සංවර්ධන වැඩකටයුතු විශාල ප්‍රමාණයක් කරන නිසා විදේශ ව්‍යාපෘති රාශියක් දිගාමඩුල්ල ප්‍රෙද්ශයේ කරන නිසා මං හිතන්නේ මේ අමාත්‍යංශය තුළ එතුමියගේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමේ හැකියාව තියෙයි කියලා මා විශ්වාස කරනවා. ඒවගේම නැවත වතාවක් මං අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා කාන්තා නියෝජනය කැන කතාකරන අවස්ථාවකදී මට රාජ්‍ය ඇමති හැටියට කාන්තාවක්, දක්ෂ කාන්තාවක් පත්කිරීම ගැන. ඒනිසා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් රටට දියයුතු පණීවිඩය මෙතුමිය හරහා දීම උචිතයි මා විශ්වාස කරනවා.  ”

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෙම අදහස් පළකළේ  අභිනව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ නීතිඥ ශ්‍රීයාණි විජේවික්‍රම මහත්මිය සිය තනතුරෙහි රාජකාරි නිලවශයෙන් ආරම්භ කිරීමේ මොහොතට අද පෙරවරුවේ එක්වෙමින්.

ගරුතර සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කළ අභිනව රාජ්‍ය අමාත්‍යවරියට සුභාශිංෂණ එක්කිරීමට අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාට අමතරව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන් ද එක්ව සිටියා.

 අභිනවයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ සිය ඉදිරි දැක්ම පැහැදිලි කළ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය නීතිඥ ශ්‍රීයාණි විජේවික්‍රම මහත්මිය.

“ එක දිගට දෙවතාවක් නියෝජනය කරපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයි විදියට මට විශාල වගකිමක් පැවරිලා තියෙනවා. අම්පාරේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න ඉඩක් නැති අවස්ථාවක් ආවා. ඒ අවස්ථාවෙදි ඊට අවස්ථාව හදලා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්. මොකද හැමවෙලේම මම නීතිඥවරියක් වගේම මම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කෙනෙක්. මගේ අයිතීන් මම කාටවත් උදුර ගන්න දෙන්නේ නැහැ. ඒවගේම අම්පාරේ මිනිසුන්ගේ අයිතිවාසිකම කිසිවෙකුට උදුරාගන්න මම ඉඩදෙන්නේ නෑ. අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධෙට මුහුණ දුන්නු විශාල දුකක් විඳපු විශාල කැපකිරිමක් මේ රට වෙනුවෙන් කරපු ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කය තුළ අපිට වැඩ ගොඩක් කරල දෙන්න තියෙනවා. අපේ ගරු අමාත්‍යතුමන් විශේෂයෙන්ම විශාල වැඩකොටසක් කරන්නට තියෙන, විශාල වැඩකොටසක් කරන්නට පුළුවන් අමාත්‍යංශයක් තමයි රාජ්‍ය අමාත්‍යධුරය මට ලැබිලා තියෙන්නේ. ඉතිං මේ අමාත්‍යංශයේ වගකිම් මට හැකි උපරිමයෙන් ඉටුකරන්නට මං බලාපොරොත්තුවෙනවා. ඒවගේම ගරු අමාත්‍යතුමාට විශාල වැඩකොටසක් තියෙනවා. අපි ඒ වැඩ ඉතාමත් හොඳින් ඉටු කරන්නට කටයුතු කරන බවත් විශේෂයෙන් ඒවගේම අම්පාරේ ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාවගේ වගකිම්, සියල්ල භාර අරගෙන ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් ඉදිරියට මේ රට ගෙනියන්නට මේ රට ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවැයි කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ..”

මෙම විශේෂ අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද අභිනව රාජ්‍ය අමාත්‍යවරියට සිය සුභාශිංෂණ එක් කළා.

 “ රජ්යත් එක්ක එකතුවෙලා, එක්සත් ජාතික පක්ෂය එක්ක නෙමෙයි. රජයත් එක්ක. රජයත් එක්ක එකතුවෙලා තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ඉදිරි කාලය තුළදි යම් සේවාවක් ලබාදෙන්න. ඒ ජනතාව ශක්තිමත් කරන්න. මොකද අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී පිල කොන්වෙලා තිබුණා. ඒ සඳහා නියෝජනයක්, නිසි නියෝජනයක් තිබුණේ නෑ. දැන් එතුමියට පුළුවන් ඒ නියෝජනය භාර අරගෙන ඒ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය ඉටු කිරීමට අවස්ථාවක් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එතුමියට භාරදීලා තියෙනවා. අපිට විශාල විශ්වාසයක් තියෙනවා එතුමිය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එතුමිය වටා ඉන්න, එතුමියගේ සේවය බලාපොරොත්තුවෙන, ඒවගේම විශේෂයෙන් අනාථවෙලා ඉන්න අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීලා ඒවගේම ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දහසකුත් එකක් අඳෝනා හා දුක් වේදනාවන්ට යම් සහනයක් සැලසීමටත් අපේ ආණ්ඩුවේ බලය, රාජ්‍ය බලය, පාවිච්චි කිරීමට එතුමියට අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා යටතේ පළාත් පාලන ආයතන ශක්තිමත් කළා. පළාත් පාලන ආයතන තුළ සංවර්ධන වැඩ සඳහා එතුමා බොහොම උනන්දුවෙන් භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණය අරගෙන, ඒවා අතර බෙදා දිලා, පළාත් පාලන අමාත්‍යංශයට නව නව මුහුණවරක් එතුමා ලබා දුන්නා. ඒවගේම පළාත් සභාත් අයිතිවන්නේ ඒතුමාගේ අමාත්‍යංශයට. ඒනිසා මං හිතන්නේ ශ්‍රීයාණි විජේවික්‍රම මැතිණියට අලුත් අත්දැකීම් රාශියක් පරිපාලනමය වශයෙන්, දේශපාලනමය වශයෙන්, ලබාගැනීමේ අවස්ථාවක් සලසා දීලා තියෙනවා. ඒතුළින් එතුමියගේ බුද්ධිය, දැනුම, ක්‍රියාකාරීත්වය, මේ සියල්ල වැඩිදියුණු කරගනිමින් දීර්ඝ දේශපාලන ගමනක්යාමට එතුමියට මංපෙත් අපේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විවිර කරලා දීලා තියෙනවා . ”

 රාජ්‍ය අමාත්‍යවරියට සිය සුභාශිංෂණ එක්කිරිමට එක් වූ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ද සිය අදහස් දැක්වූවා.

 “එක එක අය දොස් කියනවා මෙතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා, ජනාධිපතිතුමා ළඟට ආවා... මෙතුමිය අමුතු ගමනක් ආවේ නෑ. එතුමිය ආවේ එතුමියගේ මහගෙදරට. එනිසා අපි ඉතා ගෞරවයෙන් මහගෙදර ඉන්න පදිංචිකාරයෝ හැටියට, සහෝදරයෝ හැටියට අපි එතුමිය පළිගන්නවා. ඉතිං මේක තමයි යතාර්ථය. මේක තමයි ස්වභාවය. අර අනුර බණ්ඩාරනායක මහත්තයා එක් වරක් කියලා තිබුණා අපි කාගෙත්, මොනවා කරත්, කොහේ ගියත්, අපේ අල්මාරියේ නිල් කමිසයක් තියෙනවා. ඉතිං ඒක නිසා මෙතුමියගේත් නිල් හැටිටයක්, සාරියක් අල්මාරියේ තියෙනවා. ඉතිං ඕක ඇඳගන්න විතරයි තියෙන්නේ. ඒනිසා නිසි වේලාව පැමිණිවිට සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙනවා. ඉතාමත්, වැදගත්, ආදර්ශයක් දීපු දේශපාලන නායිකාවක් අම්පාර දිස්ත්‍රික්කයේ. එතුමිය හැම වෙලාවෙම අප ළඟ ඉඳගෙන, අපට ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට විසඳුම් අපෙන් ඉල්ලුවා. එතුමිය අම්පාර දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි මුලු රටටම මේ අමාත්‍යංශය තුළ ඉඳගෙන, ඒ දැවැන්ත වූ කාර්යයභාරය යුග මෙහෙවර ඉටු කිරීමට එතුමියට ශක්තිය, ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම අපි විශ්වාස කරනවා ඉතා හොඳ ඇමති කෙනෙක් ෆයිසර් මුස්තාෆා ඇමතිතුමා. එතුමාට ලොකු ආතතියක් තිබුණා පහුගිය දවස්වල මං හිතන්නේ හරියටම මල් පොකුරක් තිබ්බා වගේ හොඳ රාජ්‍ය ඇමතිවරියක්, ලස්සන රාජ්‍ය ඇමතිවරියක් එතුමාට රාජ්‍ය ඇමතිවරියක් ලැබිච්ච නිසා එතුමාගේ ආතතියත් අඩුවෙලා එතුමත් ඉතා හොඳින් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා .”

DSC 0060 DSC 0064
DSC 0031 DSC 0145