පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැගිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇත. මෙමඟින් මහජනතාවට තම කාලය ඉතුරු කරගෙන, දුරකතන, ජංගම දුරකතන හෝ CREDIT CARD භාවිත කර තම නිවසේ සිටම ගෙවීමට පහසුකම් සැලසෙන අතර එමඟින් නගර වැසියන්ගේ වටිනා කාලය, ශ්‍රමය ඉතිරිවන අතරම මේ ආශ්‍රිතව සිදුවෙමින් පැවති දූෂණ සහ අක්‍රමිකතා ද අවම කිරීමට අවකාශ ලැබේ.

ඒ අනුව 2018 වසරේ පෙබරවාරි 01 දා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ වසරේදීම තවත් පළාත් පාලන ආයතන 50ක දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. ඉතිරි පළාත් පාලන ආයතනවල ද කඩිනම් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන ව්‍යප්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ එක්ව කටයුතු කිරීමට අද දිනයේ තීරණය කළ බව ද තවදුරටත් දන්වමි.

මෙදින අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමා 2018 පෙබරවාරි 01දා සිට මෙම පළාත් පාලන ආයතන 30 මුදල් භාවිතයෙන් කිසිඳු ගෙවීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා ඇති අය සඳහා ආදාළ පළාත් පාලන ආයතනයේ ස්ථාපිත කරන ගෙවීම් කවුළුවක් හරහා ONLINE ක්‍රමවේදයට ගෙවිම් කිරීමට පහසුකම් සලසන ලෙස කරන ලද ඉල්ලීමට අදාළ පළාත් පාලන ආයතන 30හි ප්‍රධානීන් එකඟතාවය ප්‍රකාශ කළ බව ද තවදුරටත් දන්වමි.

එසේම කොළඹ මහ නගර සභාව ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කිරීම මෙම ONLINE තාක්ෂණය යොදාගෙන 2018 පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ප්‍රකාශ කළ අතර එමඟින් එම සේවා සපයා ගැනීමට බලාපොරොත්තුවන ජනතාවට එමඟින් ඉතා පහසුවෙන් සේවා සපයා ගැනීමට හැකිවන බව ද ප්‍රකාශ කරන ලදී.