සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම අගනගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධන කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයට ක්‍රියාවට නැන්වෙමින් දිස්ත්‍රික්ක 7ක අග නගර 7ක්, මහ නගර සභා ලෙස උසස් කිරීමේ පළමු අදියරේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

මහ නගර සභා ලෙස උසස්වීම් ලැබූ නගර සභා 7න්, පළමු ගැසට් නිවේදන නිකුත් වී ඇත්තේ වව්නියාව, කළුතර, කෑගල්ල, පුත්තලම හා ත්‍රිකුණාමලය යන පළාත් පාලන ආයතනයන් (නගර සභාවන්) සඳහාය. අම්පාර සහ මන්නාරම නගර දෙකද ඇතුළුව මෙම නගර සභා 7 ම, මහ නගර සභා බවට පත් කිරීමට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මීට පෙර අනුමැතිය ලැබිණි.

 

මෙසේ මහ නගර සභා බවට උසස් කිරීමකට ලක් කරන ලද පළාත් පාලන ආයතන 7 න් 5 ක්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස නිකුත් කළ, අංක 2296/05 හා අංක 2296/37 දරණ අති විශේෂ ගැසට් පත්‍ර යටතේ  මහ නගර සභා බවට පත් කොට ඇත.

ඉතිරි නගර සභා දෙක වන මන්නාරම හා අම්පාර යන පළාත් පාලන ආයතන මහ නගර සභා බවට පත් කෙරෙන ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.