පළාත් පාලන ආයතන මඟින් මහජන සේවා සැපයුම් සඳහා රුපියල් මිලියන 3085.96 ක් වැයකර ව්‍යාපෘති 544 ක් ආරම්භ කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. සතිපොළ හා වෙළඳපොළ පහසුකම්, ආදාහනාගාර ඉදිකිරීම්, කුඩා නගර සංවර්ධනය, කෘෂි මාර්ග සංවර්ධනය, ආදායම් උත්පාදන ව්‍යාපෘති, ප්‍රජා, සෞඛ්‍ය සනීපාරක්ෂාව හා අධ්‍යාපනය, මහජන සුභසාධනය හා විනෝදාත්මක කටයුතු යන අංශ 7ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
සතිපොළ, වෙළඳ සංකිර්ණ, කඩ කාමර, ජංගම වෙළඳ කුටි ඉදිකිරීම හා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘති 150 ක් සඳහා රුපියල් මිලියන 768.11 මුදලක් වැයකෙරේ.
රුපියල් මිලියන 175.41 ක වියදමින් ආදාහනාගාර 12ක් ඉදිකෙරෙන අතර දිවයින පුරා කුඩා නගර 47 ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 968.50 ක් ද ග්‍රාමීය ප්‍රදේශයන්හි කෘෂි මාර්ග 95ක් ඉදිකිරීම හා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 160.16 ක මුදලක් වෙන් කර ඇත.
ශ්‍රවනාගාර, බහුකාර්යය ගොඩනැගිලි, සංචාරක අකර්ශණිය ස්ථාන 58ක් ඉදි කිරිම හා සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 359.66 කි.
අයුර්වේද මධ්‍යස්ථාන, පුස්තකාල, දිවා සුරැකුම් හා පෙර පාසල්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ඇවිදින මංතීරු, පොදු වැසිකිළි පහසුකම් ව්‍යාපෘති 81ක් සංවර්ධනය හා අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 327.17ක් ලබා දී තිබේ.

ළමා හා මහජන උද්‍යාන, වාහන නැවතුම් ස්ථාන, නාන තොටුපල, කානු පද්ධති, වීථි ලාම්පු සවිකිරීම, ජල යෝජනා ක්‍රම, ප්‍රජාශාලා, සභාවන් සතු ගොඩනැගිලි ඉදිකරීම හා සංවර්ධනය කිරීම සඳහාත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහාත් වූ ව්‍යාපෘති 101 ක් සඳහා රුපියල් මිලියන 326.97ක් වෙන් කර ඇත.