මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාර ස්ථාන අනවසර යැයි පවසමින් අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීමට සැරසීම ගැන තමන් විරුද්ධ වන බව ගරු පළාත් සභා සහ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා ප්‍රකාශ කරයි.

පසුගිය සිකුරාදා මාධ්‍ය අමතමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ප්‍රකාශ කර සිටියේ එළැඹෙන මැයි මස 1 වන දා සිට මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති අනවසර ව්‍යාපාර ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන  හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා කියා සිටින්නේ වෙරළ තීරයේ ඇති යම් කිසි ඉදිකිරීමක් අනවසරනම් එය ඉවත් කළයුතු බවත් වෙනත් අරමුණු වෙනුවෙන් මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ව්‍යාපාර පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයන්ගේ බඩට ගැසීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය අද වනවිට දියුණු තත්ත්වයක පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අශ්‍රිතව විශාල ජන කොට්ඨාශයක් රැකියාවල නිරතවන බවත් එම ව්‍යාපාර ඉවත් කළහොත් ඔවුන්ට රැකියා අවස්ථා අහිමි වන බවත් පැවසීය.

රජයක් හැටියට පොඩි මිනිසුන්ගේ බඩට ගැසීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන නිසා, මේ සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් ද කරුණු සොයා බලා අදාළ තීන්දු ගන්නා ලෙස අදාල බලධාරීන් දනුවන් කරන බවද අමාත්‍ය වරයා පැවසීය.