DSC 2203පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මඟින් පසුගිය කාලයේ ඩෙංගු වසංගතය උග්‍රව පැවති අවස්ථාවේදී ක්‍රියාත්මක කළ පළාත් පාලන ආයතන කේන්ද්‍රීය ඩෙංගු මර්දන වැඩසටහන ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. මෙම වැඩසටහන යටතේ ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ඇත්තේ දෙහිවල - ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයයි. දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයන්හි පසුගිය වසරවලට සාපේක්ෂව ඩෙංගු රෝගය ව්‍යාප්තිය සියයට 90කින් පමණ අඩුවී ඇත.

ඒ පිළිබඳව තොරතුරු වාර්තා වූයේ පසුගිය දා පැවති දෙහිවල - ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු උප සභාපති ෆයිසර් මුස්තාෆා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වාර්තා වූ තොරතුරු පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරින් වෙත උපදෙස් දෙන ලදී. එම උපදෙස් මත දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දනය පිළිබඳ ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුව අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි, දෙහිවල - ගල්කිස්ස නාගරික කොමසාරිස් ධම්මික මුතුගල මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එස්.එම්.ආර්. ඔඩයාර්
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

පසුගිය ජූලි මස වන විට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 490ක්. එහෙත් එය පසුගිය සැප්තැම්බර් මස වන විට 38 ක් ලෙසත් ඔක්තෝම්බර් මේ දක්වා කාලය තුළ 20 දක්වා විශාල අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව එය කොළඹ දිස්ත්‍රික්කයේ අඩුවෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වූ මහ නගර සභාව ලෙස සඳහන් කළ හැකියි. කෙසේවෙතත් එළැඹෙන දෙසැම්බර් මාසය වන විට ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් වාර්තා විය හැකියි අපි අපේක්ෂා කරනවා. අපිට දැන්ම ඉඳන්ම එය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදුවහොත් ඒ අභියෝගයත් ජයගත හැකියි.

ධම්මික මුතුගල
දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්

දෙහිවල- රත්මලාන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පොලිසිය එක්ව ඒකාබද්ධ සැලැස්මක් යටතේ ජනතාවගේ ද සහභාගිත්වය ඇතුව ඩෙංගු මර්දනය කිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා. ඒ අනුව බස්නාහිර පළාතේ අඩුම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බල ප්‍රදේශය බවට අපේ බලප්‍රෙද්ශය පත් කරීමට අපිට හැකිවුණා. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි වැස්ස වැඩිවන කාලයේදී ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවදානමක් තියෙනවා කියන එක.  කෙසේවෙතත් මේවන විට අපි ඩෙංගු රෝගය සහ මේ වර්ෂාපතනය අතර සම්බන්ධයක් තියෙනවද කියන කරුණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරගෙන යනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා අප නගර සභාවේ ධූමායන කාර්යයයේ නියැලුණු කම්කරුවන්ගේ සහාය ගැන.  ඔවුන් මේ ධූමායන කටයුතුවල නිරත වූයේ විශාල දුෂ්කරතාවයන් මධ්‍යයේයි. ඇතැම් ධූමායන කම්කරුවන්ට ශ්වසන රෝග මේ නිසාම ඇති වෙලා තිබුණා. ඒ නිසාම ඔවුන් ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීම් පවා කරලා තියෙනවා. ඒ අය ඇතුළුව අපි සෑම කෙනෙක්ම කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරපු නිසයි අපිට මේ ප්‍රගතිය ලබාගැනීමට හැකිවුණේ. මේ බලප්‍රෙද්ශ දෙකටම ධූමායන කටයුතු සඳහා ඉන්නේ කම්කරුවන් 22ක් පමණයි. මෙහිදී මම තවත් දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන දෙහිවල - ගල්කිස්ස බල    ප්‍රදේශයන්හි ඇති අසංවර්ධිත ඉඩම් හෙවත් හිස් ඉඩම් හරහා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා ඉදිරියේදී මෙම හිස් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මහජන පීඩා වැළැක්වීමේ ප්‍රඥප්තිය යටතේ මහනගර සභා යටතට මෙම අයිතිකරුවන් නොමැති ඉඩම් පවරා ගන්න.

මෙහිදී කසල කළමනාකරණයේදී අත්විදින ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව ද පැහැදිලි කළ දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා.

අපි වාර්ෂික වරිපනම් ආදායමෙන් සියයට 118ක් වියදම් කරනවා කසල වෙනුවෙන්. අපේ කසල ප්‍රවාහන කටයුතු සිදුකරන වාහන ප්‍රමාණයට අවශ්‍ය රියදුරන් නැහැ. මේ රටේම කම්කරු ප්‍රශ්නයක් තියෙනවා. අද වර්තමාන තරුණයෝ කුණු අදින්න එන්නේ නැහැ. මේ තත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේදී අපිට කුණු අදින්නත් ඉන්දියාවෙන් කම්කරුවන් ගේන්න වෙයි.

කමල් පද්මසිරි
ලේකම් - පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ 

කර්මාන්තශාලා, වෙළඳ, සංචාරක හෝටල්වලින් පිටකරන අපද්‍රව්‍යවලින් මේවන විට යම් කිසි මුදලක් අය කර ගැනීමේ ක්‍රමවේදයක් යනවා. මේවන විට අපි කමිටුවක් පත්කරලා ඒ පිළිබඳව විශ්ලේෂණය කරගෙන යනවා. මොකද මේ කසල එකතු කිරීමේ ක්‍රියාවලියේදී පළාත් පාලන ආයතන එක් එක් මට්ටමින් මුදල් අය කිරිමක් සිදු කරන්නේ.

ඒනිසා අමාත්‍යාංශය මට්ටමින් එය යම් කිසි නියාමන ක්‍රමවේදයකට ලක්කරන්න ඉදිරියේදී අපි අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තුවෙනවා.

මෙහිදී ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ පිළීබඳව මාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යංශ ලේකම්තුමා.

සීමා නිර්ණය ගැසට් නිවේදනයේ අක්ෂර දෝෂ තිබුණා. ඒවා ඒ කමිටුව විසින් සකස් කිරීමේදී ඇති වූ ගැටළු. ඒ අවශ්‍ය තොරතුරු ගෙන්වාගෙන මේවන විට එය නිවැරදි කරමින් පවතිනවා. ඒ කර්තව්‍ය අවසන් වූ වහාම ගැසට් නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තුවෙනවා. ඒවගේම 2015 වසරේදී නිකුත් කළ මුල්ම සීමා නිර්ණ ගැන ගැසට් නිවේදනයක්. ඒකෙත් යම් යම් දෝෂ තිබුණා. ඒ සියලුම දෝෂයන් මගහරවා ගනිමින් ඒ අනුව ඉදිරියේදී මේ ගැසට් නිවේදන දෙක ඇතුළු ගැසට් නිවේදන තුනක් නිකුත් කිරිමට අපි බලාපොරොත්තුවෙනවා. ඒවෙග්ම මේවන විට මුලතිව් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දෙකේ ගැටළුවක් පිළිබඳව යම් කතාබහක් තිබෙනවා. මේවන විට අපි ඒ සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් මත ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තුවෙනවා එය පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ එහි මැතිවරණයත් මේ මැතිවරණවලට සමගාමීව පවත්වන්න.