DSC 2055

“ගමට වගකියන නායකත්වයක්, වැඩි කාන්තා නියෝජනයක් සමග පවුල් වාදය අවසන් කෙරෙන බව පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා පවසනවා. අමාත්‍යතුමා මේ අදහස් පල කරනු ලැබුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සියල්ල නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම පිළිබඳව හා එහිදී වැඩි කාන්තා නියෝජන අවස්ථාවක් ලබාදීම පිළිබඳව මෙරට විදෙස් තානාපති කාර්යාල ප්‍රධානීන්, දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති වැඩමුළුවක් අමතමින්.

කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන මැතිවරණ සියල්ල වඩාත් ස්වාධීනව පවත්වා, ගමට වගකියන පලාත් පාලන නියෝජිතයින් පත්කර ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව ලැබේ. එමෙන්ම වැඩි කාන්තා නියෝජනයක් සඳහා අවස්ථාව ලැබෙන අතර විශේෂයෙන් පවුලක එක් අයෙකුට පමණක් දේශපාලන නියෝජිතයකු වීමේ අවස්ථාව හරහා වැඩි පිරිසකට මහජන නියෝජිතයන් වීමේ වරම හිමිවේ.

වැඩමුළුවේ අදහස් දැක් වූ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා....

අද මේ රජය ඉතාමත් ප්‍රගතිශීලී පියවරක් අරන් තියෙනවා 25%ක් කාන්තාවන් පළාත් සභාවලට සහ 25%ක් නියෝජනයක් පලාත් පාලන ආයතනවලට. මේ නීති සම්පාදන තුලින් අපේ බලාපොරොත්තුව කාන්තා නියෝජනය වැඩිකරන එක. අපේ බලාපොරොත්තුව ඒ ඇමති හෝ මන්ත්‍රී හෝ ප්‍රදේශයේ දේශපාලන බලධාරියාගේ දියණිය හෝ බිරිඳ ඒ පලාත් පාලන ආයතනයට හෝ පලාත් සභාවට දැමීම නෙමෙයි. හැබැයි අපි මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් නොගත්තා නම්, අද අපේ දේශපාලන සංස්කෘතිය දිහා බලනකොට මේ නීති පාවිච්චි වෙන්නෙ ඒ දේශපාලඥයාගේ බිරිඳ හෝ දුව/ දියණිය ඒ පලාත් සභාවට පලාත් පාලන ආයතනයට 25% කෝටාව පිරවීමට යැවීමට. ඒ වගේම ලංකාවේ මිලියන 22ක ජනතාවක් ඉන්නවා. ඒනිසා අපි පුළුවන් තරම් වෙන කෙනෙකුට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ ඒ බල ප්‍රදේශයේ දේශපාලනඥයෙක් කියන පුළුවන් මගේ බිරිඳත්, මගේ දියණියත් ඡන්දයෙන් පත්වුණු කෙනෙක් කියල. හැබැයි තමන්ගේ පවුලේ එක්කෙනෙකුට අපි දේශපාලන හයිය දුන්න නම් තමන්ගේ හයියක් නෙමේ දුවන්නේ… ඒ දේශපාලඥයාගේ හයිය. ඒනිසා මගේ ඉල්ලීමක් තියෙනවා මේ පලාත් පාලන සහ පලාත් සභා ඡන්දෙදි කාන්තා නියෝජනය දානකොට පවුලෙන් ඈත්වෙලා දාන්න කියල. මං දේශපාලන පක්ෂවලින් ඉල්ලා හිටිනවා එක පවුලක එක නියෝජිතයෙක් පමණක් වන තේමාව යටතේ අපි කටයුතු කරානම් අපිට මේ දේශපාලන ක්ෂේත්‍රයේ මීට වඩා ප්‍රගතිශීලී වෙන්න පුළුවන්.

සමහර උදවිය කියන්න පුළුවන් මගේ බිරිඳ මගේ ඡන්දෙන් පත්වුණා කියල. හැබැයි ඒ පුද්ගලයාගේ බිරිඳ ඡන්දයෙන් පත්වුණා වගේම මිලියන 22ක ජනතාවටත් ඒ අවස්ථාව දුන්න නම් ඒ උදවියටත් යෑමේ අවස්ථාව තියෙනවා. ඒනිසා මගේ බලාපොරොත්තුව අද මේ සාකච්ඡාව තුළින් අපි එකට වැඩ කරමු. අද මේ රාජ්‍ය නොවන ආයතන වෙනම කාන්තා නියෝජනය කරනවා. අපි වෙනම කරනවා. ඒ තුළින් අපි එකම දේ දෙපාරක් තුන්පාරක් කරනවා. මේ කාන්තාවන් දේශපාලනයට දිරිගන්වන්න අපි වැඩසටහනක් කරන්න ඕන. හැබැයි අපි මේ වැඩමුළු කරන කොට දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත්වීමට ආසාව තියෙන, කැමැත්ත තියෙන, කාන්තාවන් තමයි පාවිච්චි කරන්න ඕන මේ වැඩමුළු කරන්න. නැත්නම් මේ වැඩමුළු නිකං පංතිකාමරයක් වගේ. මම දැකලා තියෙනවා සමහර තැන්වල පංති කාමරය බවට පත්වෙලා තියෙනවා. වැඩමුළු කරනවා. හැබැයි ඒකේ ප්‍රතිලාභ ලබාගන්න ඕන.

අපි මුලින්ම දේශපාලන ක්ෂේත්‍රයට ඇතුලත්වන කාන්තාවන් අපි ස්වල්පයක් අපි තෝරගෙන ඒ අයට අපි යම් උපදෙස් මාලාවක් දීලා ඒ අය තුලින් අපි වෙන අය ඇදගන්න ඕන. නැත්නම් මේක පාඨමාලාවක් කරන්න.. මේක පංති කාමරයක් වගේ ලෙක්චර් එකට සීමා කරන්න බෑ. ඒනිසා මගේ අදහස සියලු දෙනාගෙම සහයෝගය ඇතිව නව දේශපාලන විපර්යාසයක් කරන්න. හේතුව මේ කාන්තා නියෝජනය හරියට අපි පාවිච්චි කරා නම් අපිට දේශපාලනයට කාන්තාව ඇතුලත් කරනවා.  හැබැයි අද තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවන් කාන්තාවන්ට ඡන්දේ දෙන්නෙ නෑ.  අපි කාන්තාවන්ට විශ්වාසය දිය යුතුයි කාන්තාවන් තමන්ට නායකත්වය දීමේ හැකියාව තියෙනවා. අපිට පිරිමින්ටයි කාන්තාවන්ටයි සිරිමා බණ්ඩාරනායක මැතිණිය අගමැති කරන්න පුළුවන් නම් එතනින් නවත්වන්න බෑ. අපි ලෝකෙට එක දෙයක් කලා. අපි තමයි ලෝකයේ ප්‍රථම කාන්තා නායිකාව බිහිකරපු රට.

තව දෙයක් තියෙනවා. නාම යෝජනා භාරදෙන කොට 10%ක් කාන්තාවන් අනිවාරයෙන්ම කොට්ඨාසවලට දා යුතුයි. ආසනවලට දා යුතුයි. ඒවගේම ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන්ගේ නම් ඇතුළත් කර යුතුයි. ඒ තුළින් මං හිතනවා ඝෘජුවම දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත්වීමේ ප්‍රවණතාවය තියෙනවා. කලින් අර දෙදාස් දාසයේ අංක දරණ පනතේ වුණේ කාන්තාවන් ලැයිස්තුවේ එනවා. හැබැයි මේ ක්‍රමය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ ඝෘජුවම කාන්තාවන් ඇතුළත් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කලින් අර වැඩ කලත් නැතත් ගෙදර හිටිය නම් ඒ කෝටාව පිරවන්න කාන්තාවන් ඇතුල් වෙනවා. හැබැයි දැන් දේශපාලන ක්ෂේත්‍රයේ කැපවීමක් තියෙන කාන්තාවන් ඇතුළත් වෙනවා, මං හිතන්නේ දේශපාලන පක්ෂ තුළින් ඇහුවේ ඕනම කෙනෙක් නාම යෝජනා භාරදෙන්න යනකොට මුදල් තියෙනවද කියල. ඒ පුද්ගලයාගේ හොඳ නරක ගැන ජනතාව දන්නවා. ඒනිසා මම මේ දේශපාලන ප්‍රවණතාවය ගෙනයන්න තමුන්නාන්සේගේ සහාය බලාපොරොත්තු වෙනවා.

ජනවාරි මාසයේ පළාත්පාලන මැතිවරණය තිබෙනවා. මාර්තු මාසයේ පළාත් සභාමැතිවරණය. මම කැබිනට් මණ්ඩලයටත් කැබිනට් පත්‍රිකාවක් දාන්න බලාපොරොත්තු වෙනවා. නව දේශපාලන ක්‍රමය සහ කාන්තා නියෝජනය ගැන දැනුවත් කිරීම සම්බන්ධයෙන් වැඩසටහනක් සහ නොයෙක් වැඩමුළු සහ මාධ්‍ය තුළින් දැනුවත් කිරීමේ වැඩසටහන්.