news7“වසර 30ක් මේ රටේ ලමයින්ට ලමා කාලයක් තිබුණේ නෑ. ඔවුන් අතරේ ජාති ආගම් කුල බේදවලින් ගිනිගත්ත රටක ලමා කාලයක් හෙට දවසක් ගැන හිතන්න අවස්ථාවක් තිබුණෙ නෑ. ඒ දවස්වල ජීවත් වෙච්ච අපේ ලමයි අද තරුණ වයසට පත්වෙලා. ඔවුන්ට ඔවුන් ගතකරපු ලමා කාලය පිළිබද මතක සටහන් ඇති, ඒ කාලයේ අපේ රටේ මේ වගේ බැදීම් තිබුණෙ නෑ. අපි හරියට සීමා මායිම්වලින් වෙන් වෙලා. ලමයින් වැඩිහිටියන්ව ආදර්ශයට අරගෙන භේද බින්න වෙලයි තිබුණෙ. නමුත් අද එහෙම තත්වයක් නෑ. ලමයින්ට එකට ඉගෙන ගන්න ක්‍රීඩා කරන්න උපරිම නිදහස තිබෙනවා. ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්න ලමයින්ව හුරු කිරීම වැඩිහිටියන්ගෙ වගකීමක්. ඒ වගේම ලමයින්ගෙ හිත් තුලට භේද ඇතුල් කරලා හිත් දූෂ්‍ය කරන්න එපා කියලා මම මේ රටේ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ හෙට දවස භාරගන්න ඉන්න ලමා පරපුර ශක්තිමත් පරපුරක් බවට පත් කිරීම ඔබ සැමගේ යුතුකම. ඒ යුතුකම ඉටු කරන්නට අපිට කරන්න තියන දේ බොහෝමයි. ඒ දේවල් වලින් ප්‍රධානතම දේ තමයි ක්‍රීඩාවට ලමුන් යොමු කිරීම. අද දවසේ ක්‍රීඩාවට යොමුවන ලමුන් ප්‍රමාණාත්මක අඩුවීමක් තියෙනවා. ඒකට හේතුව ඉගෙනීමේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කිරීම.

අනික, අමතර දේවලට වියදම් කරන්න දෙමව්පියන්ට මූල්‍යමය තත්වයක් නොතිබීම. නමුත් ලමයින්ට තමන්ගෙ ආර්ථික තත්වයට ගැලපෙන පරිදි ක්‍රීඩාවකට යොමු කිරීම මේ රටේ ශක්තිමත් අනාගත පරපුරක් බිහි කරන්න විශාල පිටුවහලක් වේවි. ඒ වගේම බොහෝ වෙලාවට අපේ රටේ ජීවත්වන සමහර උදවිය හුරුවෙලා තියෙනවා ජාත්‍යන්තර ක්‍රීඩා තරගවල පැවැත්වෙන වේලාවට වෙනත් රටවලට ජය ඝෝෂා කරන්න .ඒ මේ ලෝකෙ හැම කෙනෙකුටම මාතෘභූමිය කියන්නේ එකයි. අපේ හැම දෙනාගෙම ජාතිය ආගම කුලය මොකක් වුනත් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි. කුඩා කාලයේ දී ඉදන් ක්‍රීඩාවට යොමුවීම තුලින් වැඩදායී මිනිසුන් පිරිසක් හෙට දවසේ බිහිකරන්න අවස්ථාව ලැබෙන බව මා විශ්වාස කරනවා.

”ලෝක ලමා දිනය වෙනුවෙන් කොලොන්නාව මැන්චෙස්ටර් පාපන්දු පුහුණු පාසැල සංවිධානය කල ජාත්‍යන්තර පාපන්දු පුහුණු සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන් රැස්ව සිටි පිරිස අමතා එම අදහස් ප්‍රකාශ කරන්නට යෙදුනා. ලාංකීය පාපන්දු ඉතිහාසය තුල පැවති විශාලතම පාපන්දු පුහුණු සැසිය ලෙස හැදින්විය හැකි මෙම අවස්ථාව සදහා විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගී වී සිටිම මෙහි විශේෂතම සිදුවීමයි.

මේ රටේ පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙන කොලොන්නාව මැන්චෙස්ටර් පාපන්දු පුහුණු පාසැල ආරම්භකර පළමු සංවත්සරය සැමරීම සදහා ලෝක ලමා දිනය වෙනුවෙන් සංවිධානය කල මෙම වැඩසටහන සදහා දිවයිනේ ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් විවිධ වයස් කාණ්ඩයන් යටතේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටි අතර ජයග්‍රහණය අනුව සියළු දෙනා ඇගයීමට ලක්වීම මෙහි දී සිදුවිය.