news4“ත්‍රී රෝද රථ වෘත්තිය කියන්නේ වර්තමාන සමාජයේ ප්‍රබල සමාජ බලපෑම් කණ්ඩායමක්. නිවැරදි දත්ත කෙසේ වුවද මිලියන 1.5 පමණ පිරිසක් ත්‍රී රෝද රථ වෘත්තිය නියැලෙනවා. කර්මාන්තයක් විදිහට ගත්තාම සෘජුව හා වක්‍රව මිලියන 4 ක පමණ පිරිසක් ත්‍රී රෝද රථ කර්මාන්තයට දායක වෙනවා. ඒ නිසා අපේ මධ්‍යයම පාන්තික ප්‍රජාවගේ වඩාත් සමීපතම ප්‍රවාහන මධ්‍යය අප ආරක්ෂා කළ යුතුයි. සුළුතරයකගේ වැරදි නිසා සමස්ත ක්ෂේත්‍රයම සමාජය තුළ යම් කොන් වීමකට ලක්ව තිබෙනවා. නමුත් සත්‍යය එය නොවෙයි. ත්‍රී රෝද රථ කර්මාන්තය රැක ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කිරීම රජයක් ලෙස අපගේ වගකීමක්. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමින් ත්‍රී රෝද රථ සිදු කරන සේවය ඉතාම විශාලයි. අද දවසේ සෑම දුෂ්කර පළාතකම ත්‍රී රෝද රථ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මගී ප්‍රවාහනය වගේම භාණ්ඩ ප්‍රවාහනයත් එමඟින් සිදු වෙනවා. ඒ නිසා මේ වගේ සමස්ත ලංකාව පුරා විහිදී ගිය කර්මාන්තයක් රැක ගැනීම අපේ වගකීමක්. ත්‍රී රෝද රථ සේවා ලාභීන්ගේ ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. දෙපාර්ශවයේම ආරක්ෂාව සඳහා රජයක් හැටියට මැදිහත් වීමක් සිදු විය යුතුයි. ඒ සඳහා උපරිමයෙන් කටයුතු කරනවා.”

“ත්‍රී රෝද රථ කර්මාන්තයේ රැකියා නියුක්තිකයන්ගේ දූ දරුවන් මේ කර්මාන්තයේම රැකියා කළ යුතුයි කියල හිතනවානම්, ඒක වැරදියි. ඔබලාගේ දූ දරුවන්ටත් මේ සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක දොරටු විවෘතයි. ඒ වගේම මම එක ඉල්ලීමක් ඔබලාගෙන් කරන්න කැමතියි. ඒ යහපත් මාර්ග චර්යා පද්ධතියක පිහිටා කටයුතු කරමු යන්නයි. විනය ගරුක කර්මාන්තයක් ස්ථාපිත කරන්න සියලුම දෙනාම කැපවීමෙන් කටයුතු කරමු කියල මම ඉල්ලා සිටිනවා.”

පසු ගිය දා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති සමස්ත ලංකා ත්‍රී රෝද රථ වෘත්තිකයන්ගේ සමිති සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීමෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යය ෆයිසර් මුස්තාෆා මැතිතුමා මෙම අදහස් පලකරන ලදී. මෙහිදී සෑම ත්‍රී රෝද රථයක්ම විධිමත් ආකාරයට පළාත් සභාව මඟින් ලියාපදිංචි කොට හැඳුනුම්පතක් ලබා දීම හා ත්‍රී රෝද රථ නැවතුම්පොළ ගැටළු නිරාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලදී.