news2“සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 48% ක් වයස අවුරුදු 19 ට අඩු පාසල් දරුවන්. මේ තමයි අපේ රටේ අනාගතය. අනාගත පරපුර මේ ඩෙංගු වසංගතයෙන් බේරා ගැනීම අපගේ වගකීමක්. ඒ සඳහා භේදයකින් තොරව එකතු විය යුතුයි. ඒවගේම මම මතක් කරන්න කැමතියි, සෑම පාසලක්ම ඩෙංගු ශූන්‍ය කලාපයක් බවට පත් කිරීමේ වගකීම එම පාසලේ විදුහල්පතිවරුන් සතු වනවා. ඒ වගකීමෙන් බැහැර වන්න ඔවුන්ට බෑ. අපි නගර සභාවත් සමඟ සියලුම පාසල් පරීක්ෂා කරන්න කටයුතු කරනවා. ඩෙංගු කීටයන් බෝවන ස්ථාන අසු වුවහොත් තරාතිරම නොබලා නඩු දමනවා. නමුත් මම කියන්නේ නෑ විදුහල්පතිවරුන්ට නඩු දැමීමෙන් පමණක් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි කියල. විසඳුම් හොයන්න ඕනි සියලු දෙනාම එකතු වෙලා කැප වීමෙන්. ළමුන්ට ගෙදර දොර පාසල පිරිසිදුව තබා ගන්න හැටි කියා දෙන්න ඕනි. නමුත් එහෙම දෙයක් කිසිම පාසලකින් සිදු වෙන්නේ නෑ. තවත් විශේෂ දෙයක් තමයි ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන වැඩ බිම් වැනි ස්ථානයන් වලින් ඩෙංගු බෝ වීමේ ප්‍රවනතාවයක් පවතිනවා. ඒ සඳහා දැඩි නීතිමය තත්වයක් යටතේ කටයුතු කරන්න අවශ්‍ය පියවර ගැනීමට සියලු පළාත් පාලන ආයතන දැනුවත් කර තිබෙනවා.”

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමන් මෙම අදහස් පළ කළේ අමාත්‍යංශ පරිශ්‍රයේදී ඊයේ පැවතී මාධ්‍ය හමුවක් අමතමිනි. පාසල් තුළ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තිබීමෙන් පාසල් ළමුන් ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවධානමෙන් ගලවා ගැනීම සඳහා පාසල් තුළ ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන පවතින්නේ ද යන්න හදිසි පරීක්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයින් කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

සමස්ත පාසල් පද්ධතිය ඩෙංගු ශූන්‍ය කලාප බවට කඩිනමින් පත් කිරීම මෙම වැඩ පිළිවෙලෙහි ප්‍රධාන අරමුනයි. මේ වන විට විශාල පාසල් දරුවන් පිරිසක් ඩෙංගු ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. එම තත්වය දිගින් දිගටම පැවතියහොත් ඇති වන භයානක තත්වය කෙරෙහි අවධානය යොමු කළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමන් පාසල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස සියලුම පළාත් පාලන ආයතන වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා. එමෙන්ම සෑම ප්‍රදේශයකම පවතින ඉදිකිරීම් කටයුතු සිදු කරන වැඩබිම් දෛනික පරීක්ෂාවකට ලක් කලයුතු බවත් ඒවායේ ඩෙංගු කීටයන් බෝ වීමේ ප්‍රවනතාවය වැඩි බවටත් තොරතුරු අනාවරණය වී ඇත. එවැනි ඩෙංගු කීටයන් බෝවන ස්ථාන සහිත ඉදිකිරීම් වැඩ බිම් තහනම් කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළා.