පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය මගින් පැවැත්වූ පළාත් පාලනය පිළිබඳ ඉංජිනේරු ඩිප්ලෝමාව හා පළාත් පාලනය හා ප්‍රාදේශීය සංවර්ධනය පිලිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය 2018.10.18 වන දින පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි. 
මෙහිදී 2018 වර්ෂයේ පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථයින් 87 දෙනෙකු සදහා ඩිප්ලෝමා සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සිදුවිය.

සහතික හා සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඩිප්ලෝමාධාරීන් හා පැමිණ සිටි පිරිස ඇමතු අමාත්‍යවරයා,
"රජයේ සේවකයින්ගේ දැනුම වැඩි කරලා ඒ දැනුම පළාත් පාලන ආයතන තුලට ගෙනියන්න කටයුතු කරලා තිබෙනවා. ගණකාධිකරණය, පරිපාලනය වැනි නොයෙක් දේවල් පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය තුලින් පළාත් පාලන ආයතනවලට ඇතුලත් කලා. ඒ තුලින් දැන් අපිට සාර්ථක ප්‍රතිඵල ලැබිලා තිබෙනවා.
මම බලාපොරොත්තු වෙනවා මේ ඩිප්ලෝමාවෙන් පසුව උපාධිය දක්වා ඔබ සැමගේ දැනුම වැඩි කරන්න. විශ්ව විද්‍යාල සමග සාකච්ඡා කරලා පළාත් පාළනය සම්බන්ධව උපාධිධාරියෙක් වෙන්න යම් විශේෂ වැඩසටහනක් දියත් කරන්න මම කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනය තමයි ජනතාව උපතේ සිට මරණය දක්වා හැමදාම ගණුදෙනු කරන ආයතනය. ඒ ආයතනය ශක්තිමත් වුණේ නැත්නම් මම හිතනවා මේ රටට ඉදිරි ගමනක් නැහැ කියලා. සැබෑ සංවර්ධනය ඇති කිරීමට පළාත් පාලන ආයතනවලට තව බලය ලබා දිය යුතුයි. ජනතාවට ගමේදීම තමන්ගේ ප්‍රශ්ණවලට උත්තර ලබා ගැනීමේ හැකියාව ඒ තුලින් ලැබෙනවා.
අද දින ඩිප්ලෝමා සහතික ලබන සියළුදෙනාට මම සුභ පතනවා. මේ ඉගෙනගත් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න. ඒ තුලින් පළාත් පාලන ආයතන ශක්තිමත්ව ගොඩනගලා රට සංවර්ධන මාර්ගය කරා ගෙන යන්න. ඒ ශක්තිය ඔබලාට තිබෙනවා."

එහිදී පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන ආයතනවල සේවය කිරීමේ දී අභියෝග රැසකට මුහුණ දිමට සිදු වන බවයි. සෘජුවම විධායක බලය පාවිච්චි කරන දේශපාලඥයින් සමග සේවය කිරීම මෙම අභියෝග වලට හේතුව බව පෙන්වා දෙන ලදි. පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය මේ වසර 3 ක කාලය තුල ගුණාත්මක වෙනස්කම් කිහිපයක් කරමින් පැමිණෙන අභියෝග සමග සේවය කිරීමට අවශ්‍ය වට පිටාව ගොඩනගා ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදි.

මෙම අවස්ථාවට මහාවංශ සම්පාදන කමිටුවේ සභාපති මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය, ජයවර්ධනපුර කළමණාකරණ පීඨාධීපති මහාචාර්‍ය අනුර කුමාර මහතා, උපකුලපති මහාචාර්‍ය සම්පත් අමරතුංග මහතා, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා, පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ සුජීව සමරවීර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

     

Dip 6 Dip 3
Dip 4 Dip 2