මහජන සේවය සඳහා කැපවූ මහජන නියෝජිතයෙකුගෙන් අපේක්ෂිත මෙහෙවර ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත ලගා කර දීමේ අරමුණින් මෙම අමාත්‍යාංශය විසින් පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවෙන් පළාත් සභාවන්ගේද එකගතාවය අනුව සකස් කරන ලද ආචාර ධර්ම පද්ධතියට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා වයඹ පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටක එකගතාවය හිමිවී ඇති අතර, ඒ අනුව එම පළාත් සභාවල ඉදිරියේදී එකී ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක වනු ඇත. මෙරට පාලන තන්ත්‍රයේ දෙවන ස්ථරය ලෙස සැලකෙන පළාත් සභා වල මන්ත්‍රීවරයෙකුගෙන් සිදුවිය යුතු මහජන සේවය යථා පරිදි ඉටු කිරීම සඳහා ඔවුන්ට මග පෙන්වනු ලබන මූලික ආචාර ධර්ම සමූහයකින් මෙම ආචාර ධර්ම පද්ධතිය පෝෂණය වී ඇත.