Secratary 2ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්. ටී.කමල් පද්මසිරි මහතා වැඩ භාරගැනීම අද (14) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගිය මැයි 2 වන දින සිදුවු කැබිනට් සංශෝදනයට ප්‍රකාරව අමාත්‍යාංශ විෂය ගැසට් කිරීම පෙරේදා (12) දින සිදුවූ අතර ඊට අදාළව මෙම පත් කිරීම සිදුව ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 21 වසරක සේවා අත්දැකීම් සතු කමල් පද්මසිරි මහතා මින් පෙර රාජ්‍ය කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසත් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇත. එමෙන්ම කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරයා වශයෙන්ද සේවය කර ඇති ඒ මහතා 2016 සැප්තැම්බර් මාසයේ සිට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

තංගල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කමල් පද්මසිරි මහතා තම ප්‍රථම උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ පශ්චාත් උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මින් පෙර ලේකම් ධුරය හෙබවූ ජයන්ත විජේරත්න මහතා ජනාධිපති අතිරේඛ ලේකම්වරයකු වශයෙන් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියැළේ.