ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වන H.M.B.P හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ගරු ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් අමාත්‍යංශ ලේකම් තුමා වෙත උපදෙස් ලබාදී ඇත.

මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව වූයේ අද දින (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.

එම සිද්ධිය සැකෙවින් මෙසේ දක්වා සිටිමි.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල අද දින (මැයි 05) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

මෙම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා තිබුනේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරය තුලයි.

නමුත් ඊයේ දින (මැයි 04) උදය වරුවේ සිට නේවාසිකාගාරය තුල විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුල ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇත.

මේ අතර ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්ත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇන හිටීම නිසා අඩපන වී ඇත. ඊයේ සවස 5.00 වන විටත් මම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත මෙය සැලවීමෙන් පසුව කඩිනමින් තත්ත්වය විසදීමට අමාත්‍යංශ නිලධාරීන්ටත් අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයටත් උපදෙස් දෙන ලදී.

ඒ අනුව විදුලි ජනක යන්ත්‍රයක් සපයා විදුලිය ලබා දීමටත්, විදුලිබල මණ්ඩලය යොදවා මෙම විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලදී. නමුත් විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස වුයේ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට දිනක පමණ කාලයක් අවශ්‍ය බවයි.

මේ වන විටත් නේවාසිකාගාරය අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එම ස්ථානයට පැමිණීමටවත් ක්‍රියා කලේ නැත.

මේ අතර ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සියළුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන ලබා දීමටත් අමාත්‍යංශ නිලධාරීන් හා අමාත්‍ය කාර්යමණ්ඩලය විසින් ක්‍රියා කරන ලදී.

ඒ අනුව ඔවුන් විසින් බස්රථ යොදා ගෙන ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරය තුල සිටි සියලුම නේවාසිකයින් හෝටලය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය නවාතැන්න පහසුකම් රාත්‍රී 9.00 පමණ වන විට සලසා දුන් අතර අමාත්‍යතුමා ද එම හෝටලයට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පහසුකම් සොයා බැලීමට ද කටයුතු කළේය. එම අවස්ථාව වනවිටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක් හෝ එම ස්ථානයට පැමිණීමට අපොහොසත් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කරුණු මානව සොයා බැලූ ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතුකළ උදාසීන ආකාරයත් එයින් අත්වූ තත්ත්වය මත ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වූ අපහසුතත්වයත් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සේවය අත්හිටුවීමට හා ඔහුව එම ධූරයෙන් නෙරපා හැරීමට අමාත්‍යංශ ලේකම් තුමා වෙත උපදෙස් ලබා දෙන ලදී.