මිරිස්ස “අනවසර ඉදිකිරීම්” ලෙස දක්නා ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත යුතු අතර, මධ්‍යස්ථ විසඳුමක් සොයා ගැනීමේ ප්‍රයත්නය කෙරෙහි සාකච්ඡා  මාර්ගයකට පිවිසිය යුතු බව, පළාත් සභා සහ  පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා පවසයි.

පසුගිය දා මිරිස්ස ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියට අදාලව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රටක් වශයෙන්, අප බොහෝ කාලයක් තිස්සේ විවිධ අභියෝග සමඟ අරගලයක යෙදී සිටින අතරම මෙවැනි ගැටලුවක් සඳහා සරල විසඳුම් නොමැත. මෙරට වගකිව යුතු මහජන නියෝජිතයෙකු මෙන්ම ජනතාවට සේවය කිරීමට දිවුරා පොරොන්දු වූ අමාත්‍යවරයෙකු වශයෙන්, යම් දිනක ඔවුන්ගේ වේදනා මා හට නොදැනෙන්නේ නම්, මේ රටට සේවය කිරීම සඳහා එදින සිට මම නුසුදුස්සෙක් වෙමි.

ඒ හා සමඟම, රටක සංවර්ධනය සඳහා වන වඩාත් පුළුල් අවශ්‍යතා අතර සහ අවසානයේදී අපගේ සේවය හිමි විය යුතු මිනිසුන්ගේ ජීවිකාව, ආරක්ෂාව සහ සතුට සඳහා ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අතර තුලනයක් ඇති කිරීමටත්, මේ රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,  පනවනු ලබන නීතිවලටත් ගරු බුහුමන් කිරීමටත් මම බැඳී සිටිමි. මා නීතීඥවරයෙකු ලෙස, අධිකරණය තුළදීද මෙම උභතෝකෝටික ගැටලුව සමඟ පොර බදමින් පැය ගණන් ගත කර ඇති අතර, මෙවැනි සමාජ ගැටලුවක් සඳහා නීති පාඨයන් තුළින් පමණක්ම සරල විසඳුම් සොයා ගැනීමට නොහැකි බව මම අවබෝධ කර ගතිමි.

මෙම ගැටලුව අහිංසක මිනිසුන්ගේ හදවතට කෙළින්ම කා වදින්නකි. “අනවසර ඉදි කිරීම්” තිබිය නොහැකි අතර, රජයේ සැලසුම් හා පුළුල් ප්‍රතිපත්තිවලට ඒවා අනර්ථකාරී බව නීතියෙන් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි බව සියලු දෙනා දන්නා කරුණකි. මේ තත්ත්වය ගත් විට, දැනට අවදානමට ලක්ව ඇත්තේ අපගේ වෙරළ සංරක්ෂණයයි. රජයක් ලෙස, අපගේ පරිසරයේ සුරක්ෂිත බව සහතික කිරීම සඳහා අප විසින් වගකිව යුතු බවට කිසිදු සැකයක් නැත. කෙසේ වුවද, එම ව්‍යායාමයේදී අපට මනුෂ්‍යත්වය පිළිබඳ පැතිකඩ ද අමතක කළ නොහැකිය. එනම්, මූලික වශයෙන්ම, අප රජය තුළ සිටීමේ පුළුල් අරමුණු කුමක්ද යන වග. ඒ වනාහි, යම් හානියකට ලක් වීමේ අවදානමට මුහුණ දෙන යම් ජන කොටසකගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයට ඇති වගකීමයි. මෙම අවදානම නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අදාළ ජනතාව පීඩාවට පත් වීමක් වන්නේ නම්, එයද තේරුම් ගැනීමට රජයක් ලෙස අපට  පැහැර හැරිය නොහැක.

මිරිස්ස ප්‍රදේශයේ දිළිඳු ජනතාවට එක්වරම ස්වකීය ජීවිකාව අහිමි නොකරන බවට වගබලා ගන්නා බවට මා ප්‍රකාශ කිරීම තුළින් කිසිදු අවස්ථාවක මම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය අවතක්සේරු කිරීමට හෝ පැහැර හැරිමට කිසි විටෙකත් කටයුතු නොකෙළෙමි. නමුත්, අදාළ නීතීන් එමඟින් බලපෑමට ලක් වෙන ජනතාවගේ සාමාජීය යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් ස්වකීය ශිෂ්ට සම්පන්න, සාධාරණ හා සංවේදී ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවට වගබලා ගැනීමට මම සෑම උත්සාහයක්ම දරණ බවට සහතික වෙමි. ඒ හේතුව නිසාම ප්‍රථම පියවරක් ලෙස  “අනවසර ඉදිකිරීම්” ලෙස දක්නා ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත යුතු අතර, මධ්‍යස්ථ විසඳුමක් සොයා ගැනීමේ ප්‍රයත්නය කෙරෙහි සාකච්ඡා  මාර්ගයකට පිවිසිය යුතු වන්නේය.” යනුවෙන් ද තවදුරටත් පැවසීය.