අරමුණ

පළාත් පාලන ආයතන නියාමනය සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී මැදිහත්වීමත් පළාත් පාලන ආයතනවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට මැදිහත්වීමත් තුලින් පළාත් පාලන ආයතන තුලින් සේවා ලබා ගැනීමට අවශ්‍ය මහජනතාව, සිවිල් සංවිධාන හා අනෙකුත් පාර්ශව වෙත වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවාවන් ලබා දීම තහවුරු කිරීම.

අමාත්‍යාංශ දැක්ම හා මෙහෙවර උදෙසා දායකත්වය

මහජනතාවගේ අභිලාෂය පරිදි කාර්යක්ෂම හා ඵලදායී සේවාවන් ලබාදීම තහවුරු කිරීම උදෙසා, පළාත් පාලන ආයතනවලට අවශ්‍යවන වාහන/ යන්ත්‍රෝපකරණ අවශ්‍යතා සපුරා ගැනීමේදී සහාය වීම තුලිනුත්, කාර්යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සහාය වීම තුලිනුත්, පළාත් පාලන ආයතනයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවන් ලබා දීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙන පළාත් පාලන ආයතනවල පෙරටු කාර්යාල සංකල්පය ක්‍රියාත්මක කිරීම තුලිනුත් අමාත්‍යාංශයේ මෙහෙවර ඉටු කිරීමේදී පළාත් පාලන අංශය මගින් තම දායකත්වය සපයනු ලබයි. තවද පළාත් පාලන ආයතන කාර්යසාධනය වාර්ෂිකව ඇගයීම තුලින් මහජනතාව වෙත උසස්, කාර්යක්ෂම සේවාවන් පළාත් පාලන ආයතන මගින් සපයන බවට තහවුරු කිරීම මගින්ද අමාත්‍යාංශය තම දැක්ම කරායන ගමනේදී පළාත් පාලන අංශය මගින් දායකත්වය සපයනු ලබයි.

කාර්යභාරය

  • පළාත් පාලන ආයතන සංස්ථාපනය සහ උත්ශ්‍රේණිගත කිරීම.
  • පළාත් පාලන ආයතන කොට්ඨාශවල සීමා නිර්ණයට අදාළව සිදු කළ යුතු කාර්යයන් ක්‍රියාත්මක කිරීම.
  • පළාත් පාලන ආයතන වෙතින් සේවා ඉටු කර ගැනීමේදී අතෘප්තියට පත්වන ජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලිවලට අදාලව විසදුම් ලබාදීම සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරු/ පළාත් පාලන කොමසාරිස්වරුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම.
  • පළාත් පාලන විෂයට අදාලව විවිධ රේඛීය අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරනු ලබන නියෝජන සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා අදාල පළාත් පාලන සමඟ සම්බන්ධීකරණය කිරීම.
  • අමාත්‍ය මණ්ඩලය විසින් එලඹෙන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අදාල පළාත් සම්බන්ධීකරණය කිරීම.

2017 ක්‍රියාත්මක විශේෂ වැඩසටහන්

පළාත් පාලන ආයතන සංස්ථාපනය/උත්ශ්‍රේණිගත කිරීමේ කටයුතු

පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම හා සංස්ථාපනය සම්බන්ධයෙන් කලින් කලට විවිධ දේශපාලන පක්ෂ/ මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන හා මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාවය පැන නැගුන බැවින් ගරු අමාත්‍යතුමා විසින් පත් කරන ලද සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නිර්ණායක මාලාවක් ගොඩ නගන ලදි. එම නිර්ණායක ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද අතර 2017.08. දිනැතිව ඒ සඳහා අනුමැතිය ලැබී ඇත. (කමිටු වාර්තාව හා නිර්ණායක) මේ දක්වා විවිධ පාර්ශ්ව වෙතින් ලැබී ඇති යෝජනා පළාත් ප්‍රධාන ලේකම් විසින් පළාත් මට්ටමින් පත් කරනු ලබන කමිටුවක් මගින් සලකා බැලීමෙන් අනතුරුව එම කමිටුවේ නිර්දේශ වාර්තාවක් ලබා ගැනීමට නියමිත අතර එම නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම් අනුව පළාත් පාලන ආයතන සංස්ථාපනය/ උත්ශ්‍රේණිගත කිරීම අමාත්‍යාංශය මගින් සිදු කරනු ඇත.

තෝරාගත් පළාත් පාලන ආයතන 100ක් සඳහා පෙරටු කාර්යාල ස්ථාපනය කිරීමට සහාය දැක්වීම

පළාත් පාලන ආයතනවලින් වඩාත් පරිපූර්ණ හා කාර්යක්ෂම මහජන සේවාවක් ලබා දීම පෙරදැරි කරගෙන පෙරටු කාර්යාල සංකල්පය ක්‍රියාත්මක කරන අතර මේ වන විටත් පුරනැගුම ව්‍යාපෘතිය මගින් පෙරටු කාර්යාල 108ක් ද, NELSIP ව්‍යාපෘතිය මගින් පෙරටු කාර්යාල 101ක් ද ස්ථාපනය කර ඇති අතර, පළාත් පාලන අංශය මගින් 2017 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන 100ක පෙරටු කාර්යාල ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.(පෙරටු කාර්යාල ස්ථාපිත හා ස්ථාපනය කිරීමට අදාළ පළාත් පාලන ආයතන ලැයිස්තුව) ඒ අනුව එක් පළාත් පාලන ආයතනයකට රු. මිලියනය බැගින් වෙන් වී ඇති අතර එම ප්‍රතිපාදනවලින් රු. ලක්ෂ 03ක මුදලක් පෙරටු කාර්යාල ස්ථාපනය කිරීමේ දී අවශ්‍ය වන කාර්යාල ලී බඩු අවශ්‍යතා සපුරාලීමට ද, ඉතිරි රු. ලක්ෂ 07 ක මුදලක් මගින් අවශ්‍ය වන පරිගණක ඇතුළු අනෙකුත් උපාංග අමාත්‍යාංශය මගින් ලබා දීමට ද, වෙන් වී ඇත. (මාර්ගෝපදේශය) ඊට අමතරව මේ සඳහා අවශ්‍ය මෘදුකාංගය ස්ථාපනය කිරීම ද, පෙරටු කාර්යාලයේ සේවයේ නියුක්ත කරවීමට නියමිත නිලධාරින් සඳහා පළාත් වශයෙන් පුහුණුවක් ලබා දීම ද අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ සිදු කිරීමට නියමිතය.

පළාත් පාලන ආයතන කාර්යය සාධන තරඟය

පළාත් පාලන ආයතනවල කළමනාකරණය ඇගයීමට ලක්කිරීම තුළින් ඒවායේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම අරමුණුකරගෙන වාර්ෂිකව පළාත්පාලන ආයතන කළමනාකරණ තරඟය පවත්වනු ලබයි. ඒසඳහා පළාත් පාලන ආයතනවල විෂය පථයට අදාළ කරුණු (මානව සම්පත් කළමනාකරණය, කාර්යාල කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, මාර්ග හා කාණු නඩත්තුව, පොදු පහසුකම්, සුභ සාධන සේවා, නියාමන සේවා වැනි) ඇතුළත් වන සේ සකස් කරන ලද නිර්ණායක් අන්තර්ගත “කාර්යය සාධනය ඉහළ නැංවීමේ හා තහවුරු කිරීමේ මෙවලම” (PERFECT) භාවිතා කරනු ලබයි. මෙහිදී පළාත් පාලන ආයතන පළාත් මට්ටමේදී ඇගයීමට භාජනය වන අතර ඉන් ජයග්‍රහනය කරනු ලබන පළාත් පාලන ආයතන ජාතික මට්ටමේ ඇගයීමකට ලක් කෙරේ. 2017 වර්ෂයේදී “කාර්යය සාධනය ඉහළ නැංවීමේ හා තහවුරු කිරීමේ මෙවලම” භාවිතයෙන් කාර්යය සාධන තරඟය නොපැවැත්වීමට තීරණය කරනු ලදුව මේ දිනවල ඇති වීඇති කාලීන ගැටළුවක් වන කසල ගැටළුව හා ඩෙංගු උවදුරට පිළියම් යෙදීම අරමුණු කරගෙන පළාත් පාලන ආයතනවලින් කසල කළමනාකරණයට හා ඩෙංගු මර්ධනයට අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ සකස් කරන ලද නිර්ණායක මාලාවක් ඔස්සේ ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. (නිර්ණායක මාලාව)

තොරතුරු

  1. පළාත් පාලන ආයතන ලැයිස්තුව - Sinhala
  2. අමාත්‍යාංශය විසින් ලබා දී ඇති වාහන /යන්ත්‍රෝපකරණ ලැයිස්තුව.
  3. සීමා නිර්ණයට අදාල පළාත් පාලන ආයතනයන්හි සිතියම්

 

4. පළාත් පාලන ආයතන සංඛ්‍යාව - සාරාංශය (2019.05.31 දිනට)

5. පළාත් පාලන ආයතන ඇමතුම් විස්තර (2019.05.31 දිනට)

6. පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ඇමතුම් විස්තර  (2020.12.01 දිනට)

7. පළාත් පාලන ආයතන සංඛ්‍යාව හා එම පළාත් පාලන ආයතනවල නියෝජිත සභික සංඛ්‍යාව (2020.03.15 දිනට)

8. පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල සම්බන්ධ වීමට තොරතුරු (2020.09.15 දිනට)

9. පළාත් පාලන ආයතන සපයන සේවා සඳහා තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදීම සඳහා චක්‍රලේඛය