කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ වගේම නාගරික කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා මේ වන විට කසල අංගන 10 ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී තවත් 12ක් ස්ථාපිත කරනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

කාතන්කුඩි නගර සභාව මඟින් ස්ථාපිත කරන ලද යාන්ත්‍රික කොම්පෝස්ට් අංගනය (කව්ෂිමා) විවෘත කිරීමේ අවස්ථාව පසුගියදා එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී රාජ්‍ය අමාත්‍යාවරයා මෙසේද පැවසීය.

යාන්ත්‍රික කොම්පෝස්ට් අංගනය හෙවත් කෞෂීමා ලෙස හඳුන්වන මෙම යන්ත්‍රය කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න දිරණ අමුද්‍රව්‍ය යොදා ගන්නා අතර ඒ සඳහා එකවර කසල ටොන් 50 ක් මෙම යන්ත්‍රයට දැමීමට හැකියාව තිබෙනවා.

මෙහි ආයු කාලය අවුරුදු 20 කට අධිකයි. කසල ටොන් 50 ක් මඟින් කොම්පෝසට් පොහොර ටොන් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් මෙම යන්ත්‍රය මඟින් ලබා ගත හැකිය. දිවයිනේ ස්ථාන 10 ක මෙම අංගන ඉදි කර තිබෙනවා. තවත් ස්ථාන 12 ක ස්ථාපනය කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉහළ කොම්පෝසට් මෙම යන්ත්‍රය මඟින් ලබා දිය හැක. කැට පොහොර නිෂ්පාදනයටද මෙම යන්ත්‍රය උදව් කර ගත හැකිය.

මෙම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම සඳහා මුස්ලිම් සහෝදර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දීම මෙම ආණ්ඩුවට ශක්තියක් බව මම මේ වෙලාවේ මතක් කරනවා.

අතිගරු ජනාධිපතිතුමාගේ හරිත කෘෂිකර්මය වැඩ පිළිවෙළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමටත්, සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීමටත් විශාල විදේශ විනිමයක් ගෙන ඒමටත්, අපේ නිෂ්පාදන පිටරට වලට යැවීමටත් උදව් වෙනවා. ඒ සඳහා අපට වගකීමක් තියෙනවා ඉතාමත් ගුණාත්මක කාබනික පොහොර සැදීමට. එම වගකීම නගරාධිපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ට හා උප නගරාධිපතිතුමාට පැවරෙනවා.

කසළ කළමාණාකරණය කරලා ගොවි ජනතාවට ලබා දෙන පොහොර කැට පොහොර දක්වා උසස් තත්වයට ගෙන ඒමට අපිට සහයෝගය දෙන්න පුළුවන් බව නගරාධිපතිතුමා වෙත සිහිපත් කරනවා.

මේ අවස්ථාවේදී මෙම කව්ෂිමා යන්ත්‍රය ලබා දීමට සහයෝගය දුන් සියළු දෙනාට ස්තූති වන්ත වෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන සියළුම පළාත් පාලන ආයතන වලින් දිනකට ටොන් 50 ක උපරිම ධාරිතාවක් සපයන්න පුළුවන්. මෙම උපකරණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ලැබෙන ආදායමෙන් කොටසක් එම සභාවලටත් ලබා දීල කටයුතු කලහොත් මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න මෙන්ම අනෙකුත් පළාත් පාලන ආයතන වලට ආදර්ශයක් වෙන්න කාත්තන්කුඩි නගර සභාවට හැකියාව ලැබෙනවා.

මෙම අවස්ථාවට කාත්තන්කුඩි නගරාධිපති අස්වර් මොහමඩ් ෂවුර් මහතා උපනගරාධිපති මොහමඩ් ඊබ්‍රහිම් මොහමඩ් මහතා ඇතුළු මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා සහභාගි විය. එමෙන්ම පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.