"මා මෙම සිදුවීම දෙස බලන්නේ වාර්ගිකත්වය මත පදනම්ව නොව ශ්‍රී ලාංකික දෘෂ්ඨිකෝණයකිනි. මෙම රටේ රණවිරුවන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කළේ ත්‍රස්තවාදයෙන් රට ගලවාගෙන එක ධජයක් යටතේ සියලු දෙනාම ලාංකිකයන් වශයෙන් එක් සේසත් වීම අරමුණු කරගෙනය. අවාසනාවට මෙන් අපේ සමහර ලාංකිකයින් මෙය අමතක කර සිය වාර්ගිකත්වය සහ ආගම මත පදනම්ව තව දුරටත් ක්‍රියාකිරීමක් දක්නට ලැබේ. අපි කුඩාකළ පටන් හොඳ නොහොඳ පිළිබඳ අධ්‍යාපනය හා අත්දැකීම් තුළින් අවබෝධයන් ලබා ගෙන ඇත. අපට සිය ජාතිය ආගම ගැන නොසිතා මිනිසුන් වශයෙන් යමක හරි වැරදි බව තීන්දු කිරීමට අවශ්‍ය වේනම් අපේ මනස තුළ පැළපදියම්ව ඇති වාර්ගිකත්වය සහ ආගමිකත්වය පිළිබඳ විකෘතිතාවයෙන් අප මිදිය යුතුය. මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා සිදු වූ ඛේදවාචකය වැළැක්වීමට රජයක් හැටියට අපට වගකීමක් තිබුණි. එම වගකීම අප හරියාකාරව ඉෂ්ඨ කළාද යන්න පිළිබඳව අප අපගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. එහිදී නීතිය ක්ෂණිකව හා විධිමත්ව ක්‍රියාත්මක වූයේ නම් එහිදී සිදුවූ දේපළ සහ ජීවිත හානිය වැළැක්වීමේ හැකියාවක් අපට තිබූ බව මම විශ්වාස කරමි. අපි ලෝකයේ ප්‍රගතිශීලී සම්මුතීන් සහ නීතීවලට අනුකූලව ක්‍රියාත්මක වන බවට එකග වී, වාර්ගික වෛරය මතම පදනම් වූ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අවශ්‍ය කෙරෙන නීති සම්පාදනය කර ඇත්තෙමු. නිදසුනක් ලෙස 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පෙන්වා දිය හැක. එය විධිමත්ව රට තුල ක්‍රියාත්මක කිරීම අප සතු වගකීමකි. එබැවින් මෙම නීති උල්ලංඝනය කරන්නන් හට ලබාදිය හැකි උපරිම දඩුවම් ලබා දියයුතු බව මම විශ්වාස කරමි.
 
එමෙන්ම මෙම සිදුවීම් මාලාව සම්බන්ධව ස්වාධීන ජනාධිපති කොමිෂමක් පත් කර, මෙම ඛේදවාචකයන්ට වගකිව යුතු පුද්ගලයින් සහ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ සියලු බලධාරින්ට එරෙහි දැඩි පියවරක් ගැනීමේ ක්‍රියාදාමයකටය අප අනිවාර්යෙන්ම යොමු වීම අවශ්‍ය වන්නාක් මෙන්ම දේපළ සහ සිදු වූ ජීවිත හානි සඳහා සියලු දෙනාටම වන්දි ලබාදීමේ ක්‍රියාදාමයකට ක්ෂණිකවම  රජය යොමු විය යුතුය.

එසේම මෙවන් ක්‍රියාදාමයන් වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය බවද මා දකිමි. මෙම අවාසනාවන්ත සිදුවීමේදී පටු දේශපාලන වාසි තකා ජනතාව සංවිධානාත්මකව පෙළඹවීමක් අපි දුටුවෙමු. එළෙස පෙළඹවූ ජනතාව හරහා වාර්ගිකත්වය, ආගම, ක්‍රෝධය සහ ‍වෛරය මත පදනම් වූ දේශපාලන වේදිකාවක් ගොඩනගා ගැනීමට දරණ ලද උත්සාහයක්ද මේ පිටුපස දක්නට විය. මෙරට ස්ථාවරභාවය නැතිකිරීමටත් ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ කිරීමටත් ඔවුන් දරණ ලද උත්සාහය අප හෙළා දකිමු. තමන්ගේ පටු දේශපාලන වාසි තකා, අප මාතෘභූමිය බිල්ලට නොදෙන ලෙස  ඒ අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.

මම සැම විටම දේශපාලනයේ නිරත වනුයේ “ශ්‍රී ලාංකිකයකුය“ යන දෘෂ්ඨිකෝණයෙන් පමණක් බව නැවත වරක් සිහිපත් කරමි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික ඒකාග්‍රතාවය සහ සහජීවනය මත පදනම් වු රටක් බිහිකිරිමට අන්‍යොන්‍ය විශ්වාසය හා එකිනෙකාට ගරු කිරීම අපේ රටට බෙහෙවින් වැදගත් බව අප සියලු දෙනා තවදුරටත් ප්‍රමාද නොවී වටහාගත යුතු අමිහිරි යථාර්ථය බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි."

  DSC 0014 1 DSC 0322 DSC 0305 2