news3රටක ඇතිවන සිදුවීමක ජාතික ප්‍රශ්නයක් බවට පත්වන්නේ එම සිදුවීම ජන ජීවිතයේ පැවැත්මට කෙතරම් බලපෑමක් ඇතිකරනවාද යන කාරණය එක්ක. අද දවසේ ප්‍රධාන ප්‍රශ්නය තමයි කුණු පිළිබඳ ගැටලුව මේ ප්‍රශ්නය ඇතිවුනේ පසුගිය අප්‍රේල් මාසේ මීතොටමුල්ල සිදුවීමක් එක්ක. අදවන විට කසල ප්‍රශ්නය මෙරට ප්‍රධානතම ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි.ඒකට හේතුව තමයි මේ සිදුවීම එක්ක වාණිජමය හා දේශපාලන පරමාර්ථ ක්‍රියාත්මක වීම. එම වාණිජමය හා දේශපාලන පරමාර්ථ හරහා ඉතාම සුළු සිදුවීම් පවා ප්‍රධාන ජාතික ප්‍රශ්න බවට පත්වෙනවා අද කසල ප්‍රශ්නය එවැනි සිදුවීමක් සමඟ ඇති වූ වානිජමය හා දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිපලයක්. නමුත් අද කසල ප්‍රශ්නය හේතුකොට ගෙන මෙරට සෞඛ්‍ය කේෂත්‍රය තුළ දැවැන්ත අර්බුදකාරී වාතාවරණයක් ක්‍රියාත්මක වෙනවා . ඒ ඩෙංගු වසංගතය රටපුරා ඉතාම සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමත් සමඟ ජන ජීවිතය තුළ ඇතිවන බිඳවැටීම. නමුත් රජයක් ලෙස මෙම තත්ත්වය නිවැරදිව කළමණාකරනය කරන්න හැකිවෙලා තිබෙනවා. අඩුපාඩු තිබුනත් සියල්ල උපරිමයෙන් ඉටුකරන්න රජය ක්‍රියාකරලා තියෙනවා. මේ කසල ප‍්‍රශ්නය සඳහා වුවත් ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගෙන පැවති තත්ත්වය යථා තත්ත්වයට පත්කරන්න රජය කටයුතුකරලා තිබෙනවා. නමුත් මෙම තත්ත්වයට රජයක් විදියට උපරිමය ඉටුකළත් සමාජමය වශයෙන් චර්යාත්මක වෙනසක් සිදුනොවන්නේ නම් කසල අර්බුදය මේ ආකාරයෙන්ම පවතින්නට ඉඩ තිබෙනවා. ඒ සඳහා මාධ්‍ය වෘත්තිකයන් ලෙස ඔබලාට සුවීශේෂී සමාජ මෙහෙවරක් ඉටුකරන්න කාලය ඇවිල්ලා. පසුගිය යුධ සමය තුළ, ඇති වූ ආපදා තත්ත්වයන්, තුළ ඔබලා ඉටුකළ සේවය ඉතාම විශිෂ්ඨයි. මේ සඳහාත් ඔබලාගේ ඒ සුවිශේෂී සමාජ මෙහෙවර හරහා දායකත්වය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.