කොවිඩ් වසංගත තත්වය පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල කළ අතර එයට විසඳුමක් ලෙස කඩිනමින් ඊ - පුස්තකාල ඉදි කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

                        

ග්‍රාමීය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීමේ අරමුණෙන් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඊ - පුස්තකාල 50 ක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කර ඇත.

මාර්ගගත අධ්‍යාපන ගැටළුවට විසඳුමක් ලෙසත්,ග්‍රාමීය ප්‍රදේශවල පාසල් හා උසස් අධ්‍යාපනය හදාරණ දරු දැරියන් හා වැඩිිහිටියන් සඳහා අන්තර්ජාල හා පුස්තකාල පහසුකම් ලබා ගැනීමටත් මෙමඟින් හැකි වේ.පළාත් පාලන ආයතන සතු මහජන පුස්තකාලවලට මෙම විද්‍යුත් පුස්තකාල ද, අනුබද්ධ කිරීම මඟින් පුස්තකාල සේවාව පුළුල් වීමක් ද, සිදු වේ.

මෙමඟින් පරිගණක පරිහරණ පහසුකම්,අන්තර්ජාල පහසුකම්,අධ්‍යාපනික හා විශේෂිත පොත්පත් පරිශිලන පහසුකම්, දුරකතන හා ෆැක්ස් පහසුකම්,පරිගණක මුද්‍රණ හා ඡායාපිටපත් සේවාව,ස්කෑනර් සේවාව,පොත් බැඳීම,පුස්තකාලයෙන් ලබා ගත නොහැකි පොත් පත් ,සඟරා හා වෙනත් ලිපි ලේඛණ ආදිය අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීම් පහසුකම් සැපයේ.

(මෙම කටයුතු අවසන් වීමෙන් පසු දිවයින පුරා ඊ - පුස්තකාල ( E Libraries)ආරම්භ කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.